Sunday, October 16, 2016

කැළණිවැලියේ දුම්රිය මතකයන් යකඩ වලට කැපෙයිද?

සෙන්ටිනෙල් වාෂ්ප රේල් කාර් රථය
ඡායාරූපය - Rob Dickinson

ශ්‍රී ලංකාව, ලෝකයේ පැරණිතම දුම්රිය සේවාවක් හිමි රටකි. වර්ෂ එකසිය පනහකට නොඅඩු අතීතයකට උරුමකම් කියන මෙරට දුම්රිය සේවා ඉතිහාසය පුරාවට හිමි වූ සුවිශේෂී මතක සටහන් රාශියකි. වර්ෂ 1864දී කොළඹ සිට අඹේපුස්සා දක්වා සිදු වූ ප්‍රථම මගී දුම්රිය ගමනත් සමග ඇරඹුණු දුම්රිය සේවාව, දහ නවවන සියවස අග භාගය වන විට දිවයින පුරා සතර අතට විහිදී ගිය මෙරට දුම්රිය මාර්ග පද්ධතිය සැතපුම් නවසීයකට ආසන්න දුර ප්‍රමාණයක් ආවරණය කරන ලදී. ඒ වාෂ්ප බලයෙන් දිවූ දුම්රියන් මෙරට ප්‍රවාහනය නව මාවතකට හැරවූ අයුරුයි.


පුළුල් ආමානයේ දුම්රිය මාර්ග ජාලයක් ශ්‍රී ලංකාවේ බටහිර කෙළවරෙන් ඇරඹි, උඩරට වතුකරයත්, දකුණු කෙළවරේ මාතරත්, යාපා පටුන හරහා කන්කසන්තුරේත්, තලෙයිමන්නරම් ජැටිය මෙන්ම නැගෙනහිර කොනේ මඩකලපුවත් යා කරන ලදී.

එහෙත් ඒ අතරට එක් නොවූ එක් සුවිශේෂි මාර්ගයක් කොළඹ කොටුවෙන් ආරම්භ වී, කොළඹ නගරය, සහ උප නාගරික ප්‍රදේශ හරහා ගොස් අවිස්සාවේල්ල හරහා රුවන් පුරයටත්, මිණි පොළව මතින් ලදු කැලෑ මැදින් ඕපනායක දක්වාත් වැටී තිබුණි. සැතපුම් 85ක දුරක් ඔස්සේ දිවූ මෙම මාර්ගය පටු ආමාන දුම්රිය මාර්ගයක් විය. 

මෙම පටු ආමාන මාර්ගයේ ධාවනය වූ දුම්රිය ජන වහරට එක්වුයේ පුංචි කෝච්චිය ලෙසිනි. පටු මාර්ග සඳහාම විශේෂයෙන් නිපදවන ලද වාෂ්ප එන්ජින් යොදාගෙන සාමාන්‍ය වේගයකින් ධාවනය වූ මෙම දුම්රියන් එකල ජනතාව අතර ඉතා ජනප්‍රිය විය. 

මේ අතරතුර, කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉහල කොටස ලෙස හැඳින්වෙන අවිස්සාවේල්ල ඕපනායක අතර කොටසේ ගමන් කරන පාසල් ළමුන්, රජයේ කාර්යාල සේවකයින් සහ අනෙකුත් මගීන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා 1928 වසරේදී, වාෂ්ප බලයෙන් ධාවනය වන රේල් කාර් තුනක් එංගලන්තයේ සෙන්ටිනල් කැමල් සමාගමෙන් ආනයනය කරන ලදී. V2 ධාවන පන්තියට අයත් වූ එම වාෂ්ප රේල් කාර් එතැන් පටන්, උදෑසන පාසල් සිසුන් වෙනුවෙනුත්, සවසට කාර්යාල සේවකයින් වෙනුවෙනුත්, ඒ අතරවාරයේ නගරයට යන එන ජනයා වෙනුවෙනුත් කැළණිවැලි මාර්ගයේ ඔබ මොබ ධාවනය වෙමින් පුරා දශක පහක කාලයක් තිස්සේ ලබාදුන් සේවාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහේ.

Ceylon Government Railways 2' 6" narrow gauge
Sentinel V2 class  geared steam railcar no. 332,
works no. 7304/1928, at Ratnapura in April 1975. 
[Mike Morant collection]

කෙසේ නමුත්, වර්ෂ 1978 වන විට, කැළණිවැලි මාර්ගයේ ඉහල කොටස වසා දැමීමට බලධාරීන් තීරණය කරණ ලද අතර, එම අවස්ථාව වනතුරුම ඕපනායක දක්වා ධාවනය වූ එකම මගී ප්‍රවාහන සේවාව ඉටු කරන ලද්දේ මෙම වාෂ්ප රේල් කාර් රථ විසිනි. 

ඉහල මාර්ග කොටස වසා දැමීමත් සමග කැළණි වැලි මාර්ගයේ පහල කොටසේ ප්‍රවාහන සේවා කටයුතු සඳහා යොමු කරන ලද මෙම රේල් කාර් රථ, එවකට කැලණි වැලියේ කොළඹට ආසන්න ප්‍රදේශ වල තිබූ අධික මගී ඝනත්වය සමග වුවද ඉතා සතුටුදායක සේවයක් ලබාදුන්නේ, සිය දශක පහක් වූ වයසද සමගිනි. 

මෙරට පටු ආමාන දුම්රිය සේවාවය කණකොකා හැඬීම ඇරඹෙනුයේ 1990 දශකයේ මුල් භාගයේදී මෙම පටු ආමාන මාර්ගය පුළුල් ආමානයට හැරවීමට බලධාරීන් තීරණය කිරීමත් සමගය. ඒ අනුව කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව ආමානයේ දුම්රිය මගක් ලෙස සකසන ලද අතර කාලයක් ගත වෙත්ම මෙම රේල් කාර් ඇතුළු සමස්ථ පටු ආමාන දුම්රිය යන්ත්‍රවල අවසානය සනිටුහන් වන්නේ, නඩත්තු කිරීමේ අපහසුතා නිසා පටු ආමාන මාර්ගය අත්හැරදැමීමට තීරණය කිරීමත් සමගිනි. වර්ෂ 1997 දී පමණ අවසාන පටු ආමාන දුම්රිය කිහිපය ධාවනය වුවත් වර්ෂ 1998 වන විට එය සම්පූර්ණයෙන්ම වාගේ නැවතී තිබුණි. වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් රැගෙන V2-331 රේල් කාරය සිය අවසාන චාරිකාව සිදු කළේය. ශ්‍රී ලංකාවේ පටු ආමාන වාෂ්ප රේල් කාර් යුගය, එම ගමනේ අවසානයත් සමගම අවසාන විය.

පසුව, දෙමටගොඩ ධාවනාගාරයට ගෙන එන ලද මෙම රේල් කාරය, එවකට හම ධාවනාගාරයේ සේවයේ යෙදී සිටි පැරණි සේවක මහත්වරුන් විසින් ධාවන තත්වයෙන් යුතුව නඩත්තු කලේ මෙම රේල් කාර් රථය කෙරෙහි ඔවුන් දැක්වූ ඉමහත් ආදරය නිසාවෙනි. දුම්රිය ඉතිහාසයේ දශක කිහිපයක මතකයන් සඟවාගත් සිහිවටනයක් වූ මෙම අතීත උරුමයට සැබැවින්ම ගරු කලෝ ඔවුන් ය. 21 වන සියවසේ මුල දශකය දක්වාම මෙම රේල් කාර් රථය ධාවන තත්වයෙන් පැවතුනේ ඒවන විට ලොව ධාවන තත්වයේ ඉතිරිව තිබූ අවසාන වාෂ්ප රේල් කාරය ලෙසිනි. 

වාෂ්ප එන්ජින් නඩත්තු කටයුතු පිළිබඳව දැනසිටි අවසාන සේවක පිරිස 2008 වසරේදී විශ්‍රාම යාමත් සමගම මෙම වටිනා වාෂ්ප යන්ත්‍ර පිළිබඳ උනන්දු පුද්ගලයන් මෙන්ම මෙහි වටිනාකම ගැන දැනුමැත්තන්ද දුම්රිය සේවයට අහිමි විමත් සමග මෙම අපූරු අමරණිය උරුමයන්හි විනාශය ආරම්භ විය. ඒ අතරම මේවායේ අගය වටහා නොගත් පුද්ගලයන් විසින් විවිධ කොටස් ගලවාගෙන යාමත් එහි විනාශය වඩාවඩාත් ඉක්මන් විම අතිශයින්ම කණගාටුදායක තත්වයකි. 

වර්ෂ 201x වන විට අලුතෙන් ගෙන එන ලද බලවේග කට්ටල ආදියට ඉඩ ලබාගැනීමට දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සිදුකරන ලද නවීකරණයත් සමග මෙම රේල් කාර් ඇතුළු ශ්‍රී ලාංකේය දුම්රිය පටු දුම්රිය ඉතිහාසයේ එක ස්වර්ණමය යුගයක සිහිවටන රාශියක්, දශක හතකට අධික කාලයක් තමන්ට සෙවන සැපයූ, සිය නිවස වැනි වූ, දෙමටගොඩ ධාවනාගාරයෙන් එලියට ඇද දැමුණි. දුම්රිය අංගනයේ මුල්ලක ගාල් වූ ඒවා අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින්, සිය අවසන් ඉරණම බලාපොරොත්තුවෙන් සිටී.

නොසීතූ ලෙස ඒ අවසන් ඉරණම තීන්දු වී ඇති බව ඉතාම මෑතකදී අසන්නට ලැබීම, දුම්රිය ගැන කැමැත්තක්, උනන්දුවක් ඇති කාගේත් හිතට ඇති කර ඇත්තේ දැඩි සංවේගයකි. දැනගන්නට ලැබී ඇතී තතු පරිදි, මෙම වටිනා රේල් කාර් කිහිපය ඇතුළුකොට ඇති අනෙකුත් සියලු පටු ආමාන එන්ජින් සහ මැදිරි කොටස් ඉවත් කොට දුම්රිය අංගන පිරිසිතු කලයුතු බවට දුම්රිය ඉහල බලධාරීමට නියෝග ලැබී ඇත. ඒ අනුව මෙම අතීත උරුමයන් සියල්ල අබලි යකඩ ලෙසින් අලෙවි වී යනු ඇතැයි කොයි කිවුරුත් සැකයෙන් යුතුව බලා සිටිති.

බොහෝ විදේශ රටවල් වල පැරණි දුම්රිය එන්ජින්, මැදිරි සහ මාර්ග අලුත්වැඩියා කොට ධාවනය පවත්වාගෙන යන සංගම් සහ ආයතන තිබේ. කිහිප විටකදීම එවැනි සංගම් කිහිපයකින් මෙන්ම එංගලන්තයේ යෝක් කෞතුකාගාරය විසින්ද මෙම රේල් කාර් රථ ඉතා විශාල මුදලකට මිලදී ගැනීමට සූදානම් වුවත් මෙටර බලධාරින්ගෙන් එයට සුභදායී පිලිතුරක් ලැබීනැත. දැනගන්නට ලැබී ඇති පරිදි ඉතා මෑතකදීත් එංගලන්තය මූලික කරගත් එවැනි කණ්ඩායමක් විසින්, මෙම රේල්කාර් රථ නැවත ධාවන තත්වයට පත් කිරීමට සිදුකරන ලද ඉල්ලීමද මෙරට දුම්රිය බලධාරීන් ඉවත දමා ඇති බව ඉතා අභාග්‍ය සම්පන්න තත්වයකි. මෙම ලිපිය ලියන මොහොත වන විටත්, අංක 332 රේල් කාරය දෙමටගොඩ හැරවුම් වේදිකාව අසල කැලෑවෙන් වැසී ඇති අයුරු දැකගත හැකිය. 

ශ්‍රී ලංකාව වූ කලී, වර්ෂ දහස් ගණනක් ඉක්මවන ඉතිහාසයක ප්‍රෞඩත්වය විදහාපාන උරුමයන් රැසකින් යුක්ත රටකි. එම අතීත ශ්‍රී විභූතියේ මහිමය මොනවට කියා පාමින් යෝධ දාගැබ්, වෙහෙ විහාර, යෝධ ගල් කණු ආදිය නටඹුන් ලෙසින් වුව සිය අතීත කතාව නිහඬව ලොව ඉදිරියේ දක්වා සිටියි. ඒ අපේ උරුමය යැයි හඬ ගා කියන්නට සුවහසක් දෙනා පෙල ගැසෙති. පුරාවස්තූන්, උරුමයන් වන්නේ ඒ මහා නිර්මාණයන් පමණ්ක්මද? 

අප රටෙහි දුම්රිය සේවය, ක්‍රියාකාරී කෞතුකාගාරයක් වැනිය. නමුත් අපට නොවටිනා, එහෙත් ලොවටම වටිනා එම පුරාවස්තූන් රැකගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම ශෝචනීය තත්වයකි. සුදුජාතිකයින් විසින් මෙරට ඇති කරන ලද දුම්රිය සේවය සිය වසර 150කට වැඩි ඉතිහාසය තුල අපට දායාද කල බෙහෝමයක් මතක වස්තූන් මේ වන විටත් මේ මිහිතලයෙන් සදහටම මැකීගොස් අවසන්ය. ඒ අතර මෙරට දුම්රිය සේවය සතු වූ, අකාලයේ බලෙන් අවසන් ගමන් යවන ලද, ලෝකයටම එකම එකක් වූ අංක 293 දරණ පටු ආමාන ගැරට් එන්ජිම විශේෂයෙන් සඳහන් කල යුතුය. 

තවත් එවන් අභාග්‍ය සම්පන්න සිදුවීම් අපේ දුම්රිය ඉතිහාසයේ මතක පොතට එක් නොකිරීමට වග බලාගැනීම දුම්රිය කරවන නිලදරුවන්ගේ මෙන්ම දුම්රියට හිතැති ඔබ අප සැමගේම වගකීමකි. විශේෂයෙන්ම මෙම රේල් කාර් රථය නැවතත් ධාවන තත්වයට ගෙන ආ හැකි නම්, එය වර්තමාන මෙන්ම අනාගත දුම්රිය ලෝලීන් ඇතුලු සමස්ථ දුම්රිය ප්‍රජාව වෙනුවෙන්ම කරන මහඟු කාර්යයකි. විදෙස් රටවල වෙසෙන දුම්රිය ලෝලීන්, වාෂ්ප දුම්රිය ඇති රටවල් සොයමින් එම දුම්රිය දැක බලාගැනීමට පමණක් එම රටවලට සංචාරය කරති. ඒ මගින්, දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අමතර ආදායමක් උපයා ගැනීමටත්, ක්‍රියාකාරී තත්වයේ පවතින එකම වාෂ්ප රේල් කාරය හිමි රට ලෙස අප සැමටම ආඩම්බර විය හැකි වනු ඇත. 

ඕනෑම රටක අනාගතය තීරණය කරන්නේ එහි ඉතිහාසයයි. ඓතිහාසික පුරාවතූන් අප රක ගත යුතුව ඇත්තේ අප අද සිටින තත්වයට පැමිණීමට ඒවායින් ලද පන්නරය නිසාය. එමෙන්ම, අනාගත පරපුරට, සිය ආදී මුතුන්මිත්තන් විසින් පරිහරණය කරන ලද, ඔවුන් සමග ජීවත් වූ එම ඓතිහාසික සිහිවටන අප ඉතිරි කල යුතුව ඇත. ඔවුන් ඒවා දෙස බලා ඉමහත් සේ ආඩම්බර වනු ඇත. ඒ මෙන්ම, මෙම වටිනා පුරාවස්තූන් ඔවුන් වෙනුවෙන් ඉතිරි කර තැබීම ගැන, අප හට මුළු හදින්ම කෘතඥ වනු ඇත.. 

-සුභාෂ් බණ්ඩාර ධනසේකර විසින් ලියූ සටහනක් ඇසුරින් සැකසිණි-

ඡායාරූප සහ වීඩියෝ


The Kelani Valley Railway (KV Line) ran from Nugegoda Junction, 
Colombo, to Avissawella in Sri Lanka. It was a narrow-gauge steam railway.
It was upgraded to standard gauge and diesel in 1992. 
This was one of the last regular steam trains

Ceylon Government Railways 2' 6" narrow gauge
Sentinel V2 class geared steam railcar no. 331, works no.
7303/1928, at Dematagoda on an unspecified date in 1976.
[Mike Morant collection
Class V2 No.331 Sentinel Steam Railcar - claimed to be
in working order and the last one in such condition
in the world - at Dematagoda shed on December 18, 2007
Interiour of the Sentinel Car
Ceylon Government Railways Hunslet 2' 6" narrow gauge
J1 class 4-6-4T no. 221 in charge of the 09.35
Maradana - Koltawa service at Narahenpita station on 16/2/76.

No. 221 was one of six members of the J1 class and was built in 1924 by Hunslet with works no. 1478 but I have no data regarding withdrawal other than that the narrow gauge lines were converted to broad gauge from 1991 onwards and the entire system since 1982 is known as Sri Lankan Railways.
[Mike Morant collection]


14 comments:

  1. බොහොම හොඳ ලිපියක්. මේ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අදහසක් 1980 දශකයේදී තිබුණා. ඉතා අවාසනාවන්ත ලෙස එහි අනික් පැත්තයි සිදුවුනේ. දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා කෙටි වුණා.

    මේ දුම්රිය මගේ, 1968 දී, මා රාත්‍රී දුම්රියෙන් කොළඹ සිට රත්නපුර දක්වාත්, පසුදින රත්නපුර සිට කොළඹ දක්වාත් පැමිණ තිබෙනවා. හරිම විනෝදජනක ගමනක්. බොහොම හෙමින් ගමන් කරන්නේ. විහිළුවට කියනවා, කොළඹින් දුම්රියට ගොඩවන පෙම්වතුන් යුවලක්, දුම්රිය ඕපනායක දක්වා ළඟාවනවිට, දෙමව්පියන් වී සිටිනු ඇති කියා.

    ReplyDelete
    Replies
    1. පුන්චි කෝච්චිය යයි හරි වේගෙන්
      පැය දහයට එක හැතැම්මේ වේගෙන්
      කොල්ලයි කෙල්ලයි නැග්ගම කොටුවෙන්
      දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

      Delete
    2. නියමයි පූසෝ. අන්න ඒක තමයි මමත් අදහස් කලේ.

      Delete
    3. එය කවියේ රචකයා මම දන්නා තරමින් නම් සුරලොව ඇල්මන් ලෙස පෙනී සිටිමින් නරලොව හොල්මන් ලිවු චන්ද්‍ර‍ අනගිරත්නයන්.

      Delete
  2. මේක ඇත්තට ම ඒ තරම් කාර්යක්ෂම නෑ නේ ද ? ඒත් බොහෝ සුන්දර මතකයන් එකතු කර ගත්තක් කියන එක ගැන සැකයක් නැහැ. ඒ සියල්ලත් එක්ක මේ විදිය ට විනාශ වෙන්න අතෑරපු එකනම් මාර අපරාධයක් !
    http://cyberheartblog.blogspot.com/

    ReplyDelete
  3. වටිනා ලිපියක්. ඇත්තටම ඒක දිරාපත් වෙලා ගියොත් සෑහෙන අපරාධයක්.

    ReplyDelete
  4. ඉතාම වටිනා ලිපියක්.ඔබේ ලිපි මාලාවම ආසාවෙන් කියවනවා.මොකද මමත් දුම් රිය ලෝලියෙක් නිසා.70 දශකයේ දී පුන්චි කොච්චියේ කොටුව සිට පන්නිපිටිය දක්වා වතාවන් ගනනාවක ගමන් අත්දැකීම් තියෙනවා.ඔබට හැකිනම් මෙය පොතක් ලෙස පලකරන්න.(චායාරූප සමග )හේමසිරි ප්‍රනාන්දු (ජාතික ඔලිම්පික් සභාපති ) මහතා පලකල ලිපි ගනනාවක් ද කියෙව්වෙමි.ඔබට ඉස්තූතියි.(රන්ජන්-අලුත්ගම )

    ReplyDelete
  5. අපේ කට්ටිය සුද්දන්ට බැන බැන ඒ හදල දීපු ඒව කාල දාන එකනෙ කරන්නෙ.

    අපේ අයට අගයක් නැත්තං මේව යකඩ වලට විකුණන්නෙ නැතුව විදෙස් රටකට විකුණල දැම්මනං ඉවරයි. එතකොට අඩුම ගානෙ ලෝකෙ කොහේ ‍හෝ මේව සංරක්ෂණය වෙලා තියෙයි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපි ලංකාවේ දුම්රිය සේවයට කොයිතරම් ආදරේ කලත් මේ වගේ දේවල් වෙනවා දකිනකොට නම් දුක හිතෙනවා.

      Delete
  7. මේ කථාව කියෙව්වම ලොකු වේදනාවක් දැනුනා. හදවතක් නැති යකඩ ගොඩක් උනත් අපේ ජනජීවිතය එක්ක වසර ගනනක් ගැටිලා කල සේවය වෙනුවෙන් කරන ගෞරවයක් ලෙසවත් මේ යන්ත්‍ර‍ රැකබලාගත යුතුව තිබුනා.

    ReplyDelete
  8. Karunakara mema lipiye pitapathak prawahana amaathyansha lekam warayata email karanna.puluwannam may engima kadugannawa ho maradana dumriya kauthukagarayata ewanna katayuthu karamu

    ReplyDelete
  9. ලංකාවේ දුම්රිය සේවයට අපි කොයිතරම් ආදරේ කලත් මේවගේ දේවල් දකිනකොට නම් දුක හිතෙනවා.

    ReplyDelete